Monday, January 29, 2018

තුන් මසකට පෙර මිය ගිය වෙරළ වොලිබෝල් විරුවා



ඒ 2003 වර්ෂයේ බක්‌ මාසයයි. ශ්‍රී ලංකා වොලිබෝල් ක්‌ෂේත්‍රයේ අලුත්ම සාමාජිකයා වූ වෙරළ වොලිබෝල් තරග මාලාවක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර සංචාරය යෙදී තිබුණේ 2003 අප්‍රේල් මාසයේ තායිලන්තයේ - පතලොන් සහ zසොන්ක්‌ලාZ නගරවල පැවැත්වෙන හතර වැනි - ලෝමාසමිලා zආසියා පැසිµsක්‌ කලාපීය බීච් වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගිවීමටය. ගුවන් ප්‍රවේශපත්, ආහාර පාන, ක්‍රීඩා ඇඳුම් සොයාගැනීම වැනි බාධක රාශියක්‌ මධ්‍යයේ ආරම්භ වූ බීච් වොලිබෝලයේ කුළුදුල් ජාත්‍යන්තර සංචාරයේ කළමනාකරු වීමේ භාග්‍ය මෙන්ම වගකීම ද මා වෙත හිමිව තිබෙන ලදි. ඒ සියලු භාරදූර වගකීම් මෙන්ම අභියෝග ද හමුවේ ඒවාට මුහුණදීමේදී නොසැලෙන ඉන්ද්‍රකීලයක්‌ සේ මා පසුපස සිටි දැවැන්තම හස්‌තය වූයේ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‌ෂේත්‍රයේ ප්‍රථම ජාතික පුහුණුකරු ධුරය හිමිකර ගැනීමේ භාග්‍යලත් ප්‍රසන්න උදය කුමාර මහතාය.
 
 කොළඹින් බැහැර ගලේවෙල දේවහුව ප්‍රදේශයේ උපත ලද ප්‍රසන්න උදයකුමාර කුඩාකල සිට ක්‍රීඩාවට දැක්‌වූ කුසලතා හේතුවෙන් තම ස්‌වඋත්සාහයෙන්ම ජාතික තරුණ සේවා සභාව ඔස්‌සේ ජාතික මට්‌ටමට එක්‌වූ ක්‍රීඩකයෙකි. 1992 වර්ෂයේ මාගේ ප්‍රථම ජාත්‍යන්තර ගෘහස්‌ථ වොලිබෝල් සංචාරය වූ ජාතික කනිෂ්ඨ කණ්‌ඩායමේ ඉරාන සංචාරයේ අවසාන ක්‍රීඩකයන් 16 දෙනා අතර ප්‍රසන්න උදය කුමාර රැඳී සිටි නමුත් අවසන් ක්‍රීඩකයන් 12 දෙනා අතරට එක්‌වීමට තරම් ඔහු වාසනාවන්ත නොවීය. ජාතික තරුණ සේවා සභාව ඔස්‌සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්‌ වූ ප්‍රසන්න 90 දශකයේ ශ්‍රී ලංකාවේ පැවති ජාතික මට්‌ටමේ ප්‍රධාන තරගාවලි සෑම එකක්‌ සඳහාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පන්දු සකසන්නකු ලෙස ක්‍රීඩා කළ ජාතික මට්‌ටමේ ජයග්‍රහණ රාශියක්‌ ලබාගැනීමේ වාසනාව උදාකර ගත් ක්‍රීඩකයෙකි.
 
 ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ කාලය අවසන් වන විටම ප්‍රසන්න බීච් වොලිබෝල් ක්‍රීඩාවේ පුහුණුකරුවකු ලෙස පත්වීමට ක්‍රියා කළේ ස්‌වෙච්ඡාවෙන්මය. එකල කිසිවකුගේ ඇස නොගැටුණු ළදරු වියේ පසුවූ බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රථම ජාතික පුහුණුකරුවා ප්‍රසන්න විය. 2003 වර්ෂයේ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලංකා ජාතික කාන්තා බීච් වොලිබෝල් කණ්‌ඩායම ප්‍රථම ජාත්‍යන්තර ජයග්‍රහණය හොංකොන් දේශයට එරෙහිව දකුණු තායිලන්තයේ සොන්ක්‌ලා නගරයේදී ලබාගත් මොහොතේ ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ට අමතරව එම සතුට සැමරීමට එම ජයග්‍රහණ භූමියේ සිටි ශ්‍රී ලංකියකයන් තිදෙනා වූයේ මා සමඟ සිටි අනෙක්‌ දෙදෙනා වූයේ සහකාර කළමනාකරු නාලක සහ ප්‍රධාන පුහුණුකරු වූ ප්‍රසන්න උදය කුමාරය.
 
 ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියෙන් පසු ප්‍රසන්න ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 08 දෙනකු සිය පෞද්ගලික වියදමින් මිලදීගත් වාහනය මඟින් මීගමු ප්‍රදේශයේ ඔබමොබ ප්‍රවාහනය කරමින් දෛනික පුහුණුවීම්වල යෙදුනේ ක්‍රීඩාවටම ඔහු තුළ තිබූ සුවිශේෂී ඇල්ම හේතුවෙන්මය. වරක්‌ චීනයේ අභ්‍යන්තර නගරයක පැවති බීච් වොලිබෝල් තරගාවලියට සහභාගිවීම සඳහා මේ සුවිශේෂී පුහුණුකරුවා සිය ක්‍රීඩකයන් දෙදෙනා සමඟ දිවයිනෙන් බැහැරව යැම සඳහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර සොයාගනු ලැබුවේ ඔහුගේ මංගල මුදුව උගසට තබා ලබාගත් මුදලින් බව දන්නේ ස්‌වල්ප දෙනෙකි. දින ගණනාවක්‌ ගෙවා චීනයේ තරගාවලිය පැවති ස්‌ථානයට ශ්‍රී ලංකා කණ්‌ඩායම ළඟාවන විට තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙමින් තිබී ඇති අතර, තරගය නැරඹීමටම පමණක්‌ සීමාවී කණ්‌ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණීම වැනි කටුක අත්දැකීම් රාශියකට මුහුණදීමට ප්‍රසන්න උදය කුමාරට එකල සිදුවිය.
 
 මේ සියලු අමිහිරි අත්දැකීම් සියල්ල විඳදරා ගනිමින් මුල් කාලයේ ඉතා කටුක මඟක ගමන් ගත් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාව සිය ප්‍රථම අන්තර් ජාතික ජයග්‍රහණය ලෙස බංග්ලාදේශ තරගාවලියේ රිදී පදක්‌කම ද දිනා ගන්නා විට ඒ සියලු සාර්ථකත්වය පිටුපස අයෝම හස්‌තයක්‌ ලෙස රැඳී සිටියේ වෙනින් කවුරුත් නොව අපේ ප්‍රසන්නමය.
 
 විටෙක පුහුණුකරුවකු, විටෙක විනිශ්චකරුවකු තවත් අවස්‌ථාවක ඉතා ක්‍රියාශීලී තරග සංවිධායකවරයකු ලෙස විවිධ ක්‌ෂේත්‍රයන් ඔස්‌සේ ප්‍රසන්න ශ්‍රී ලංකාවේ වෙරල වොලිබෝල් ක්‍රීඩාවට සිදුකළ අපමණ සේවය අපට කිසිදා අමතක කළ නොහැක.
 
 ඉතා ක්‍රියාශීලී මුහුණු පොතේ රසිකයකු වූ ප්‍රසන්නගේ මුහුණු පොතේ සටහන් අතර 90% ක්‌ම පවතිනුයේ බීච් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ පින්තූර සහ සටහන්ය. නොවැම්බර් දෙවැනි සතියේ බ්‍රසීලයේ පැවති ලෝක සන්නද්ධ හමුදා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් අවසන් මහා තරගයේ විනිසුරුවා වීමේ භාග්‍ය ලබාගත් ප්‍රසන්න ඒ සම්බන්ධව යොදා තිබූ මුහුණු පොතේ සටහනට මා සුභාශිංෂණ එක්‌කළේ බීච් වොලිබෝල් ක්‍රීඩාවේ මුල් අවධිය පිළිබඳව සටහනක්‌ ද එක්‌ කරමිනි.
 
 ප්‍රසන්න අවසන් වරට මා හට මුණගැසුනේ 25 වැනි සෙනසුරාදා මහරගම ජාතික තරුණ සේවා ගෘහස්‌ථ ක්‍රීඩාගාරයේ පැවැති ජාතික වොලිබෝල් ශූරතා අවසාන මහා තරගාවලි අවස්‌ථාවේදීය. එදින ජය සංකේත ප්‍රධානයෙන් පසු මා වේදිකාවෙන් බැසයන විට ප්‍රසන්න නිරතුරුවම මුවග රැඳි සිනාවෙන්ම මා පිළිගත්තේ "සර් කොහොමද" යෑයි විමසමින්ය. ඒ අවස්‌ථවේ මා බ්‍රසීල් තරගය සම්බන්ධව ඔහුට සුබපැතූ අතර, අප දෙදෙනා කතා කරමින් මාගේ වාහනය අසලට එනතුරුම ඔහු මා සමඟ විය.
 
 එළඹෙන වසරේ ඔස්‌ටේ්‍රලියාවේ zගෝල්කොස්‌ට්‌Z හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලීය තරගාවලිය සඳහා බීච් වොලිබොල් ක්‍රීඩාව තෝරාගෙන තිබීම ඔහු මා වෙත සඳහන් කළේ විශාල සතුටකින්ය. "සර් අපි අමාරුවෙන් අරගෙන ආපු ක්‍රීඩාව අද තියෙන තත්ත්වය දැක්‌කහාම අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? නේද?" ඔහු මගෙන් විමසා සිටියේ සත්‍ය ලෙසම සිතේ නැඟෙන සතුට දෝරෙ ගලන සිනාවක්‌ ද සමඟය. "ප්‍රසන්න මම ගිහින් එන්නම් අපි ආයේ හම්බවෙමු" මා අවසන් වරට ඔහුට පවසා වාහනයෙන් පිටත්වන විට ප්‍රසන්න සිය සුරත ඔසවා මා හට සුබපතනවා මට මතකය. එම සිද්ධියෙන් පැය 48 ක්‌ ගතවීමට ප්‍රථම වේයන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් ප්‍රසන්න උදය කුමාර සහෘදයා ජීවිතයෙන් සමුගත් බව දැන්වූ පුවත විශ්වාස කළ නොහැකිව මා ස්‌වල්ප මොහොතක්‌ තුෂ්නිම්බූතව සිටියෙමි.
 
 බීච් වොලිබෝල් ක්‍රීඩාව අද ලබා ඇති යම් දියුණුවත් ජයග්‍රහණයක්‌වේ ද එම ජයග්‍රහණයේ ප්‍රධාන පංගුකාරයකු වනුයේ ප්‍රසන්නය. ප්‍රසන්නලා සිය දහඩියෙන් කඳුලින් පෝෂණය කර තැනූ ශක්‌තිමත් අත්තිවාරම මත ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාව ගොඩනැඟි ජය ධජ නංවන දිනය වැඩි ඈතක්‌ නොවනු ඇත. සබඳ එදිනටත් අපි ඔබ ගැනම සිහිපත් කරමු. සහෘදයාණෙනි ඔබට නිවන් සුව.


By Nr.Priyantha Jayakodi



No comments:

Post a Comment

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...