Thursday, November 30, 2017

දැලේ පැටළුණු වොලිබෝලය දැලෙන් බේරා ගනිමු








වොලිබෝලය අද අපේ ජාතික ක්‍රීඩාව. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාව අපේ රටේ පවතින පැරැණිම ක්‍රීඩාවයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන තැන එදා තිබුණේ වොලිබෝලයටයි. එදා සෑම ගමකම හැන්දෑවට වොලිබොල් ක්‍රීඩා කළේ අපේ තරුණ පිරිසයි. අද ක්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකගේ ක්‍රීඩා වීරයන් වන සනත්, අර්ජුන, මුරලි වාගේම එදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වීරයන් වෙලා හිටියේ ගම්පහ සිරිවර්ධන, චාල්ස් වැනි අයයි.
පසුගියදා පැවැත්වුණු සාෆ් ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාවට 2 ස්ථානය හිමිවිය. ඉන්දියාව, පාකිස්තානය ඉන්නේ අපිට ඉහළිනි. ආසියාවේ වොලිබෝල් ගහන රටවල් දහහතරක් අතුරින් අප ඉන්නේ දහතුන් වැනි ස්ථානයේය.
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයක්, පුෂ්පයක්, නම් කරද්දී එවකට සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට නියම කළේ ලංකාවට උචිත ජාතික ක්‍රීඩාවක් ද නම් කරන ලෙසය. මේ සඳහා විශේෂ කමිටුවක්ද පත් කළේය. එයට මහාචාර්ය විනී විතාරණ, පණ්ඩුල ඇඳිගම ඇතුළු ප්‍රවීණයෝ ඇතුළත් කළහ. ඔව්හු කරුණු සොයා ලංකාවට සුදුසු ජාතික ක්‍රීඩාව කුමක්ද කියා තීරණය කළහ. ලංකාවේ පුරාණයේ සිටම පැවැති, අඩුවියදමකින්, ශාරීරික වර්ධනයට තුඩුදෙන අයුරින් කළ හැකි ක්‍රීඩාවක් පිළිබඳව කරුණු භාජනය විය. අන්තිමට මේ ගවේෂණයේදී අවසන් තරගයට තේරුණේ වොලිබෝල් ක්‍රීඩාව සහ එල්ලේ ක්‍රීඩාවය. අවසන් තරගයේදී එල්ලේ ක්‍රීඩාව පරාජය කරමින් වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස ජයගත්තේය. වොලිබෝල් ජාතික ක්‍රීඩාව වුණේ එහෙමය.
පනහ, හැට, හැත්තෑව දශකවලදී වොලිබෝල් ක්‍රීඩාව මේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව විය. ශ්‍රී ලංකාවේ එවකට සිටි වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්දියාවට, පාකිස්තානයට පවා අභියෝග කළහ. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවේ “පතාක යෝධයා” ලෙස සලකන ගම්පහ ඩබ්ලිව්. එල්. සිරිවර්ධන එදා ඉන්දියාවේ හිටි වොලිබෝල් යෝධයා “”බාවා” බිම ඇද වැටෙන්න පවා ඩෑෂ් ප්‍රහාරවල් එල්ල කළේය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය වැනි රටවල් සහභාගිවූ අලිජින්නා කුසලාන වොලිබෝල් තරගාවලිය පවා එදා ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත්හ. ශ්‍රී ලංකාවේ කාන්තා වොලිබෝල් ක්‍රීඩාවත් එදා ඒ වාගේම දියුණු තත්ත්වයක පැවතුණි. ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් ක්‍රීඩාකාවෝ එදා විදේශ තරගවලට සහභාගිවී ජයග්‍රහණ ලබා ගත්හ. 91 දී සාෆ් කලාපයේම ශූරියෝ වූහ.
එදා වොලිබෝල් ක්‍රීඩාවෙන් නම රැන්දූ දක්ෂයෝ අදත් අපේ ක්‍රීඩා ලෝලීන්ගේ හිත්වල ජීවත් වෙති. ගම්පහ සිරිවර්ධන, චාල්ස්, ගල්ඔය ලෙනී ජයකොඩි, පොතුපිටියේ ජයසේකර, වික්‍රමපාල, ත්‍රිකුණාමලයේ විජේසූරිය, කඩුවෙල හේරලස්, සූරියප්පෙරුම, මදුරප්පෙරුම, මිනුවන්ගොඩ යූ. එල්. කරුණාරත්න, විල්බට්, ඉන්පස්සේ පැමිණි කණ්ඩායමේ මීගමුවේ ජෝර්ජ්, ජෝ, එම්මානුවෙල්, ජැක්සන් සේනාරත්න, යුද හමුදාවේ එල්.පී. පෙර්රා, පොලිසියේ ගාවින්, හංවැල්ලේ බචෝ, බොස්කෝ ප්‍රේමරත්න, ගම්පහ පියරත්න, දයාරත්න, දෙල්ගොඩ අබේවර්ධන ඉන් කීප දෙනෙක් පමණි. කාලයකදී ගම්පහ එරික්, ජයතිස්ස, රංජිත් , ජයන්ත, යුද හමුදාවේ සිරිවර්ධන, ගුවන් හමුදාවේ ගුණතිලක, මාදම්පෙ ශ්‍රීනාත්, ඇලෙක්ස්, කොස්වාඩියේ සුනිල් ප්‍රේමසිරි, රාගම කැමිලස් ඇන්තනී, පර්සි, තරුණ සේවා සභාවේ වන්නිතිලක, ජයන්ත, නාලක ආදීහුද දස්කම් දැක්වුහ.
කාන්තා වොලිබෝල් ක්‍රීඩාවෙන්ද අපේ මතකය තුළ ක්‍රීඩකාවන් කීප දෙනෙක් සිටිති. ඇලෝමා, ග්‍රේස්, සීතා, සුනේත්‍රා කුලතුංග, යසවති අලහකෝන්, මාලිනි, නන්දා ගනේගොඩ, මදුකා කිරිඇල්ල, චම්පා රංජනී, රන්තිලකා ජයවීර, රේණුකා අබේගුණවර්ධන, ඒ ක්‍රීඩිකාවන් ගෙන් කීප දෙනෙකි. මේ අයගෙන් පසු ඒ අයුරින් වොලිබොල් ලෝලින්ගේ සිත්වල නොමැකෙන නම් එතරම් බිහිවුණේ නැත. කාලයෙන් කාලයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළත් ඔවුන් අර අය තරම්ම මෙසේ වොලිබෝල් ඉතිහාසයට එක් වි නැත.
එකල පාසල් වොලිබෝල් ක්‍රීඩාවත් හොඳින් ප්‍රචලිත වි තිබුණි. පොතුපිටිය මහ විදුහල, ගම්පහ ලෝරන්ස්, මිනුවන්ගොඩ නාලන්ද, බෝමිරිය මහ විදුහල, හොරණ විද්‍යාරත්න, ගම්පහ බණ්ඩාරනායක, කෝට්ටේ ක්‍රිස්තුරාජ, ඇල්පිටිය වැනි පාසල්වලින් එදා පාසල් වොලිබෝල් දක්ෂයින් වැඩියෙන් බිහිවුණි. ඒ කීපයකින් පමණි.
ඒ දිනවල වොලිබෝල් ක්‍රීඩාවට මේ කාලය මෙන් පහසුකම් නොතිබුණි. පිටරටින් උපදේශකයින් සිටියේ නැත. විශේෂ තාක්ෂණයක් තිබුණේ නැත. බස්එකේ නැත්නම් කෝච්චියේ ඇවිත් සිසිල් මස්කට් කෑල්ලක් කා සිසිල් බීම බෝතලයක් බී ඔවුන් වොලිබෝල් ගහන්ට පුරුදු වූහ. කවුරුත් අනුග්‍රහයකයින් නොසිටියහ. එදා ඔවුන් ක්‍රීඩා කළේ ටියුබ් සහිත බරවැඩි බෝලවලිනි. අඩු සම්පත් මැද වුවද ඔවුන් එදා එල්ල කළ වොලිබෝල් ප්‍රහාර අදත් අපේ මතකයේ රැඳී පවතී.
ඒ දිනවල සෑම ගමකම වාගේ වොලිබෝල් පිටියක් තිබුණි. හැන්දෑවට නතිනම් ඉරිදා සෙනසුරාදා සවස් වරුවේ ගමේ තරුණ තරුණියෝ හිටියේ වොලිබෝල් පිටියේය. ඒ නිසාම ගම්වල වොලිබෝල් ක්‍රීඩා සමාජ ක්‍රියාත්මක විය. සෑම සති අන්තයකම ගම්වල තරගාවලි පැවැත්විණ. අද මෙන් එදා තරග ජයග්‍රාහකයින්ට දහසින් බැඳි පියළි හිමිවුණේ නැත.
ඒ වකවානුවේ ආයතනවලත් වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රියව තිබුණි. වෝකර්, බාටා, ලේක් හවුස්, බ්‍රා ෆෝම්, ඩයමන්, තුල්හිරිය, මත්තේගොඩ වැනි ආයතනවල දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෝ සිටියහ. අද වාගේ අංග සම්පූර්ණ සුගතදාස, මහරගම තරුණසේවා වැනි ක්‍රීඩාංගණ එදා තිබුණේ නැත. වොලිබෝලයට ජයභූමිය වූයේ කොළඹ පාසන්ස් පාරේ තිබූ රාජ්‍යසේවා ක්‍රීඩාංගණයය. අද කොළඹ කොටුවේ මහජන බැංකු මූලස්ථානය පිහිටා ඇති බේරේ වැව අද්දර ඒ ක්‍රීඩාංගණය තිබුණි. එදා තරග නැරැඹීමට ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් කොළඹට පැමිණියහ. මිගමුවෙන්, කළුතරින්, ගම්පහින් කෝච්චි පුරවා පැමිණි ක්‍රීඩා ලෝලීන් කොටුව දුම්රිය පොලේ සිට පාසන්ස් ක්‍රීඩාංගණයට ගියේ පෙරහැරිනි.
ඉතින් මේ වොලිබෝලයේ ස්වර්ණමය යුගයට තවදුරටත් ජීවයක් ලැබුණේ ජාතික තරුණසේවා සභාව ආරම්භ කළ නේවාසික ක්‍රීඩා පුහුණුව තුළිණි. චරිත රත්වත්ත, මහතා සභාපති වූ කාලය වොලිබෝල් ක්‍රීඩාවේ දෙවැනි යුගය විය. ක්‍රීඩා සුහදතා පදනම යටතේ ජපානයෙන් විශේෂ පුහුණුකරුවන් පැමිණියහ. ඔවුන් වොලිබෝලයේ නව තාක්ෂණය, උපක්‍රම අපේ අයට කියා දුන්හ. ඒ පුහුණුවීම් යටතේ වන්නිතිලකලා, ඇලෙක්ස්ලා, ජයන්තලා චන්නලා එදා වොලිබෝල් පිටියේ වීරයින් වූහ. අපේ ක්‍රීඩා ලෝලයින්ටද අමුතුම උද්යෝගයක් උද්දීපනය කරමින් කිසිම තාක්ෂණයක් නොමැතිව එදා සිරිවර්ධනලා එල්ල කළ වේග ඩෑෂ් ප්‍රහාරයන් මෙදා වන්නිතිලකලා නව තාක්ෂණය සහ උපක්‍රම ඇතිව එල්ල කළහ.
මෙතරම් දියුණු සහ ජනප්‍රිය තත්ත්වයක තිබූ වොලිබෝල් ක්‍රීඩාවට ඒතැන දිගින් දිගටම පවත්වාගෙන යාමට වරින් වර නොයෙකුත් බාධාවන් පැමිණියහ. ප්‍රධාන කරුණ වූයේ වොලිබෝලය ගමෙන් ඈත්වීමය. එදා සවස් වරුවලදී ගමේ වොලිබෝල් ක්‍රීඩාපිටියේදී ක්‍රීඩාකළ තරුණ තරුණියෝ ගමේම රැඳී සිටි අය වූහ. ඔවුන් කාලායාගේ ඇවෑමෙන් රැකියා සොයා ගමෙන් පිටවූහ. මේ නිසා ගමේ වොලිබෝල් පිටි වල්බිහි වන්නට විය. ඒ වොලිබෝල් පිටිවල තරුණයෝ ක්‍රිකට් ක්‍රීඩා කරති.
මේ තත්ත්වය යටතේ වොලිබෝලයට පත්වු පාලකයින්ට වොලිබෝලය ගොඩ ගැනීම තරමක් අසීරු කාරියක් විය. ගමේ ක්‍රීඩාව තිබේනම්, ක්‍රීඩා සමාජ ක්‍රියාත්මක වේ. නගරයේ වොලිබෝල් තරගාවලි සඳහා පමණක් සහභාගි වි කණ්ඩායමක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් පැවතුණි. මේ නිසාම ගමේ ක්‍රීඩා සමාජ බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවු අතර වොලිබෝලය ගමෙන් ඈත්විය.
එදාමෙන් නොව අද වොලිබෝල් තරග සඳහා මුදල් අවශ්‍ය වේ. වොලිබෝල් සම්මේලනය නිල වශයෙන් ජාතික ශූරතා හතරක් වසරකට පැවැත්විය යුතුය. ඒ ජාතික කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වශයෙනි. ඊට අමතරව පාසල් සහ සුපිරි කණ්ඩායම් අතරද තරග පැවැත්වේ. අද ක්‍රිකට් ක්‍රීඩාවට සහ රගර් ක්‍රීඩාවට තිබෙන ප්‍රතිචාරය වොලිබෝලයට නැත. ඒ නිසා අනුග්‍රහයකයින් ළංකර ගැනීම අපහසු වී තිබේ. මේ නිසාම අපේ වොලිබෝලයට දැන් දැලේ හිරවී සිටීමට සිදුවී තිබේ. එළියට ගන්න තරමක් අපහසු වී ඇත. ඒ සඳහා ප්‍රබල සවියක්, කැපවීමක් සැලැස්මක් අවශ්‍යය.
අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝලයට මෙසේ ලෙහෙසියෙන් මියැදීමට අවසර දිය නොහැකිය. පසුගිය වසරේ සම්මේලනය පැවැත්වු සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලියට දිවයිනේ නන්දෙසින් වොලිබෝල් කණ්ඩායම් 800කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවූ බව අමතක නොකළ යුතුය. එදා ඔවුන් තරග වැදුණේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩකයින්ගේ දස්කම්ද අභිබවා යන ලෙසිනි. ඒ දැක්වු දස්කම් ඉදිරියට රැකගැනීමට වැඩපිළිවෙළක් තිබුණහොත් තව අවුරුදු කිහිපයකදි අපට ආසියාවේ දහතුන්වෙනි ස්ථානය නොව එයට ඉතා පහළ ස්ථානයකට පත්වීමට හැකියාව ඇති බව සඳහන් කළ යුතුය.
සිත තිබුණාට එය ප්‍රමාණවත් නොවේ. සවියත් අවශ්‍යය. හැකියාව තිබිය යුතුය. මේවාට විසඳුම් සෙවීම දුෂ්කර ක්‍රියාවකි. ඒත් අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්ය. අනෙක් ක්‍රීඩාවලට වඩා මේ ක්‍රීඩාවට ප්‍රමුඛත්වයක් දිය යුතුමය. නැවත මෙම ක්‍රීඩාව රටපුරා ප්‍රචලිත හා ජනප්‍රිය කළ යුතුය. මේ සඳහා වැඩි සේවයක් මාධ්‍යවලින් ලබාගත හැකිය. අනෙක් පැත්ත ලබාගත හැක්කේ අනුග්‍රහ සහයෝගයෙනි. මේ විවිධ අන්දමේ බාධක මැද දැලේ පැටලලී තියෙන අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝලය පැටලුම් නිරවුල් කර එළියට ගැනීම සැම දෙනාගේම රාජකාරිය මෙන්ම යුතුකමක්ද බව සඳහන් කළ යුත්තේ ක්‍රීඩාවට ඇති ආද නිසාමය

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...