Saturday, December 2, 2017

වොලිබෝලය වර්ණවත් කළ රත්නපුරේ විජේපාල












( සැ..යු.2010 සිළුමිණ ලිපියකි ) 
කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි.
50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය.
වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්මනියේ ‘ලිප්සිග්’ ක්‍රීඩා විද්‍යායතනයට විජේ පියමං කළේ වොලිබෝල් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ය. ජර්මනියේ දී ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලැබූ විජේ සිය රටට සම්ප්‍රාප්ත වූයේ වොලිබෝල් ක්‍රීඩාවේ නව ක්‍රමවේද ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ ඒකායන අරමුණිනි.
වොලිබෝල් ව්‍යාප්ත නිලධාරියකු ලෙස සිය රාජකාරි ගමන ඇරැඹූ විජේ ක්‍රීඩා පිටියට අවතීර්ණ වූයේ සුබ අනාගතයක පෙර මඟ සලකුණු පෙන්වන මාර්ගෝපදේශකයකු ලෙසිනි. රටේ අස්සක් මුල්ලක් නෑර, ගම්බිම් සිසාරා ඇවිද ගිය විජේ තමා ඉගෙන ගත් වොලිබෝල් ක්‍රීඩාවේ සියලු හර පද්ධතීන් රට පුරා විසුරුවන්නට විය.
රටේ විසිරී සිටි දක්ෂතාවලින් පිරි උසින් යුත් ළාබාල තරුණ තරුණියන් එක්තැන් කොට ජාතික තරුණ සේවා සභාවේ වොලිබෝල් තවානක් ඇරැඹීමට කටයුතු කළ විජේ දිගු ගමනක ආරම්භයකට මුල පිරීය. පසු කාලයේ දී මෙම තවානෙන් බිහිවූ සුපිරි ගණයේ වොලිබෝල් ක්‍රීඩකයින් රටේ විවිධ ආයතනවලට අනුයුක්තව ක්‍රීඩා දක්ෂතා පෙන්වන අයුරු විජේ බලා සිටියේ හද පිරි සතුටිනි. තරුණ සේවා සභාවේ, පිරිමි - කාන්තා වොලිබෝල් කණ්ඩායම්, ජාතික ශූරතා දිනන අයුරුත්, ඉන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කරන අයුරුත් විජේ ගේ අමන්දානන්දයට හේතු විය.

බංගලාදේශ ක්‍රීඩා ඇමැතිවරයා විසින් එරට වර්ණ සහිත කබායක් අන්දවමින්
කේ.ඒ. කේ. විජේපාල නම් වූ තරුණ ගැටයා පළමු වරට මට මුණ ගැසුණේ මදුරාසියේ තරුණ ක්‍රිස්තියානි ශාරීරික අධ්‍යාපන විද්‍යාලයේ රූස්ස සියඹලා ගස් සෙවණේදී ය. එදා මෙදා තුර කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය ද එය වසර 50 කට ආසන්න වී ඇතැයි සිතා ගැනීමට ද අපහසු වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම විටම විශේෂ දක්ෂතා පෙන්වමින් කැපී පෙනුණ බව මට අදටත් සිහිපත් කළ හැකි ය. විජේ ඒ කාලයේ වැඩිපුර ඇලුම් කළේ ජවන හා පිටිය මලල ක්‍රීඩාවට ය. එයට අමතරව වොලිබෝල්, බාස්කට් බෝල්, පිහිනුම්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා ද උනන්දුවෙන් ප්‍රගුණ කළ බව සිහියට නැඟේ. මදුරාසි ප්‍රාන්ත, අන්තර් විද්‍යාල වොලිබෝල් ශූරතාව විද්‍යාලයට දිනාදීමට විජේත්, මමත්, අප සමඟ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක යූ.එල්. කරුණාරත්නගේ දායකත්වයත් විශාල පිටුවහලක් විය.
මේ අතර ඉඳහිට මතු වූ සුළු සුළු අඬ දබර නොතිබුණා නොවේ. දිනක් උදේ වැඩ සටහනින් පසු ලැබෙන ආහාර විවේකයේ දී විජේ ලැගුම් ගන්නා කුටිය, දෙසින් ඇසුණු කලහකාරී ශබ්දයකින් මා තැති ගතිමි. නොපමාව එදෙසට දිව ගිය මා දුටුවේ හොකී පිති අමෝරා විජේ ගේ කුටිය දෙසට ඝෝෂා කරමින් යන පංජාබ් ශිෂ්‍යයන් පිරිසකි. ඔවුන් අතරින් රිංගා ගොස් මම විජේගේ කුටියට රිංගා ගත්තෙමි. නිමේෂයකින් කුටියේ දොරගුළු වසන ලෙස සරූර් සොයුරා ගුගුළේ ය. විජේ හනික කොට කලිසමකට බැස්සේ සටනට සූදානම් බව පෙන්වමිනි. සරූර්, අපේ අයෝමය පුරුෂයා ද, එසේම සටනට සැරසී වහසි බස් දොඩමින්, කුටිය තුළට පනින්නට දඟලනවුන්ට තර්ජනාංගුලිය එල්ල කරමින් සිටියේ ය.
මේ මහා කාල ගෝට්ටිය අතරින් විද්‍යාලයේ විනය පාලක නිලධාරියා තම හඬ වඩාත් තීව්‍රව අවදිකොට සියලු දෙනාට විසිර යන ලෙස අණ දෙනු ලැබී ය. උද්ඝෝෂකයෝ හෙමින් සීරුවේ පසු බසින අයුරු මා බලා සිටියේ සැහැල්ලු සිතිනි. විජේ ට නොපමාව කාර්යාලයට වාර්තා කරන ලෙස උපදෙස් දුන් විනය පාලකවරයා සියල්ල මොහොතකින් සන්සුන් කළේ ය. මම සැනසුම් සුසුමක් හෙළා සිදුවූ දේ ගැන සරූර් ගෙන් විමසා සිටියෙමි. “වතුර පයිප්පය ළඟදී ඇති වූ බහින් බස් වීමක් නිසා විජේ පංජාබ් තරුණයාට පහර දී තිබෙනවා” විජේ නම් ශාන්ත සුන්දර මිනිසා තුළ ජීවත් වූ අසාධාරණයට හා අයුක්තියට එරෙහි වන තරුණ ජවය ඉස්මතු වූ අයුරු අදත් මගේ සිහියට නැඟේ.
තරුණ ක්‍රිස්තියානි විද්‍යාල ජීවිතයේදී සිදුවූ තවත් එක් සුන්දර සිදුවීමක් සිහිපත් කිරීම මැනවැයි සිතේ. එදා මදුරාසි ප්‍රාන්තයේ ‘අයෝමය පුරුෂයා’ තෝරන දිනයයි. අපේ නියෝජිතයා එම්.එස්.එම්. සරූර් සහෝදරයායි. විජේ, යූ.එල්., සිරිල් හා මම සරූර් කැටිව තරග ආරම්භ ස්ථානයට වාර්තා කළේ ප.ව. 6.30 පමණ ය. තරගයට සහභාගි වන ක්‍රීඩකයින් මූලික අභ්‍යාස වල යෙදෙන අයුරු නරඹමින් අපි ටික වේලාවක් ගත කළ අතර, හදිසියේ ම අප අතරට පැමිණි සරූර් ග්‍රීස් ටිකක් සොයා එන්නැයි දැන්වීය.
නිමේෂයකින් විජේ හා මම ග්‍රීස් සොයා නගරය පීරු වෙමි. ඉන්ධන හලකින් පයිසා කීපයක් දී ලබාගත් ග්‍රීස් ටික අතැතිව අපි දෙදෙනා පවනට බඳු වේගයෙන් සරූර්ට වාර්තා කළෙමු. යූ.එල්. හා සිරිල් යන දෙදෙනා සරූර්ගේ සිරුර පුරා ග්‍රීස් තවරනු මා බලා සිටියේ කුතුහලයෙනි. ක්‍රමයෙන් සරූර් ගේ සිරුරේ ඇති මස් ගොබ විදුලි එළියට දිලිසෙන අයුරු අපට දිස් විය.
තරගය ඇරඹීමට සියල්ල සූදානම් බව පෙනිණ. තරගකරුවන් සියලු දෙනා වේදිකාව මත පෙළ ගැස්විණ. ඔවුහු ආරෝහ පරිනාහ දේහයන්ගෙන් යුතු දැවැන්ත මස් ගොබ දරා සිටින්නන් බව ක්ෂණිකව අපට ඒත්තු ගියේ ය. ප්‍රේක්ෂකාගාරයේ සිට උස් හඬින් සරූර්ට ‘චියර්’ එකක් දීමට අපි තිදෙනා අමතක නොකළෙමු.
තරගය ඇරඹිණි. එක් එක් ක්‍රීඩකයා තම මස් ගොබ ප්‍රදර්ශනය කරමින් විවිධ ඉරියව් පෑවේ ය. ප්‍රතිඵල නිවේදනය කරන වේලාව සමීප බව දන්වන ලදුව කුතුහලයන් මුසපත්ව අප දැවැන්ත පේ‍්‍රක්ෂකාගාරයේ තනිව ඇති බවක් එකිනෙකාට හැඟුණ බව ඔවුනගේ මුහුණු කියාපෑවේය. වේදිකාවේ ඉදිරියට කැඳවනු ලැබූ ‘සරූර්’ ගේ කරවට ‘මිස්ටර් මැඩ්රාස්’ යන සාටකය වැටෙත් ම අප තිදෙනා හැකි වේගයෙන් අහසට පැන හඬ තලමින් සතුට පළ කළෝ ය. වේලාව රාත්‍රි 10.00 පමණ ඇත.
අඳුර කපා ගෙන වීදියට බට අප වීදි ලාම්පු එළියෙන් ත්‍රීරෝද රථයක් සොයමින් පියවර කිහිපයක් ඉදිරියට ගියා පමණි. කෙසෙල් ගසක් කපා දැමුවාක් මෙන් සරූර් පදික වේදිකාවේ ඇද වැටිණ. කර කියා ගත හැකි දෙයක් නොවූ අපි හනික ත්‍රීරෝද රථයක් සොයා ගියෙමු. නොබෝ වේලාවකින් වෛද්‍යවරයකු අබියසට ගිය අපට ඔහුගේ පළමු පැනයට පිළිතුරු සැපයීමට සිදුවිය. “ඔලිව් ඔයිල් හොයා ගන්න බැරි වුණා. අපි ග්‍රීස් ටිකක් අරගෙන සරූර්ගේ ඇඟේ ගෑවා.”
නොපමාව කරුණු වටහා ගත් වෛද්‍යවරයා හනික සරූර් ට සිහිය ලබාදී පැවසුයේ හනික ගොස් ග්‍රීස් මුළු මනින් ම සෝදා හරින ලෙසයි. ග්‍රීස් ශරීරය පුරා තැවරීම නිසා රෝම කූප වැසී, අප ද්‍රව්‍ය පිටවීමේ ක්‍රියාවලියට බාධා පැමිණීම හේතුවෙන් සරූර් සිහි සුන්ව ඇද වැටුණු බව වෛද්‍යවරයා පහදා දීමෙන් අනතුරුව ඒ පාඩමත් ඉගෙන ගෙන උතුරා යන සතුටු සිතින් විද්‍යාලය වෙත පිය මැන්නෙමු.
තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) ලෙස විජේ මත පැටවුණු අතිමහත් රාජකාරි සියල්ල ඉවසීමෙන් හා කැපවීමෙන් ඉටු කළ විජේ ඒ වනවිට ජාත්‍යන්තර වොලිබෝල් සංගමය මගින් ධ්ධ්ධ් වන අදියර සඳහා පැවැත්වූ වොලිබෝල් පුහුණු කරුවන්ගේ පරීක්ෂණයෙන් ද සමත්ව සිටියේය. ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම අන්තර්ජාතික වොලිබෝල් පුහුණුකරු වූ කේ.ඒ.කේ. විජේපාල, ඉන් අනතුරුව ආසියානු රටවල් රැසක පුහුණු කටයුතු භාරව කටයුතු කර අත්දැකීම් බහුල ජාත්‍යන්තර චරිතයක් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ම විය.
1991 වසර ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස මහා පරිමාණයේ අන්තර්ජාතික තරගයක් සංවිධානය කළ ප්‍රථම වර්ෂය විය. ඒ දකුණු ආසියාතික සාෆ් ක්‍රීඩා උලෙළයි. ජාතික පුහුණුකරු ලෙස ඔසවා තබනු ලැබූ කේ.ඒ.කේ. විජේපාල කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත්කරනු ලැබීම බොහෝ අයගේ නොමඳ පැසසුමට ලක්විය.
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ධජය ඉහළින් ම ඔසවා තිබූ අවස්ථාවක, ඉන්දියාව පරදා කාන්තා වොලිබෝල් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට විජේපාලයන් ගත් අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල උතුරා යමින් තිබිණ. කණ්ඩායම් තරගයකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනූ මුල් අවස්ථාව මෙය විය.
එයට කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම හා ප්‍රධාන පුහුණුකරුවූ විජේ ගේ සැලසුම් හා පුහුණු ක්‍රමවේදයන් ගේ නිරවද්‍යතාවය ඔප් නැංවූ කදිම අවස්ථාවක් ද විය. මෙම ජයග්‍රහණයේ සතුට නැවත නැවතත් ආවර්ජනය කරමින් ඔහු උතුරා යන ප්‍රීතියෙන් කතා කරනු මා අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ.
මා ජාතික රූපවාහිනියේ ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ක්‍රියා කරන අවදියේ වසර 18 ක් පුරාවට රූපවාහිනී ‘වොලිබෝල් තරග මාලාව‘ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාතික තරුණ සේවා සභාවේ නොමසුරු දායකත්වය ලබාදීමට විජේ හැමවිටම සැදී පැහැදී සිටි අයුරු අදටත් මට සිහිපත් වේ.
ක්‍රීඩා සංවිධායකවරයකු හා පුහුණුකරුවකු ලෙස විජේ ගේ දෘෂ්ටි කෝණය පිළිබඳව මාගේ නොමඳ සැලකිල්ල යොමු වූ අතර විකාශනයේ දී අප මුහුණ දෙන සියලු ගැටලු සුහදව සාකච්ඡාකර සියල්ල නිරවුල්ව කරගෙන යෑමට විජේ දිගු කළ සහයෝගිතා හස්තය ඔහුගේ පරිණත බව මැනවින් කියා පෑවේ ය. රූපවාහිනි වොලිබෝල් තරග මාලාව සංවිධානය හා විකාශනය යන දෙපැත්තෙන් ම සාර්ථකවීමට අපගේ අන්‍යොන්‍ය බැඳීම ද ඉවහල් වූ බව කිවයුතුම ය.
නිසසල ගමනක්, තවුසකුගේ සංයමයෙන් හෙබි පෙනුමත්, සෙමෙන් හඬ හසුරුවන උත්තුංග චරිතයක් කලුආරච්චිගේ කුලසිරි විජේපාල නම් විද්‍යාත්මක හා න්‍යායාත්මක බවින් පිරිපුන් වොලිබෝල් පුහුණු කරුවෙකු බිහි කිරීමට හේතු වූ උදාර කරුණුවලින් ඔහු මුළුමනින් ම පෝෂිතව සිටි බව මට වැටහුණේ වරක් දෙවරක් නොවේ.
පසුගිය වකවානුව පුරා විජේ ගේ දරු පවුලට සිටි සමීපතම හිතවතා මා වූ බැවින් අද ඔහු මුහුණපා සිටින තත්ත්වය දෙස මා බලන්නේ අතිශය වේදනාකාරී හැඟුම් සමුදායකිනි. වසර 05 ක් වැනි කෙටි කාලයක් තුළ මේ අභීත පුද්ගලයා මුහුණ දුන් වේදනාකාරී හැඟීම් සමුදාය මහ පොළොව නුහුලන තරම් යැයි මට සිතේ.
තම එකම පුතුගේ රෝගී තත්ත්වය නිසාවෙන් රෝගියෙකු බවට පත්වූ විජේපාල සොයුරාගේ ආත්ම ශක්තිය තවමත් ක්ෂයවී නැතැයි මට හැඟුණු අවස්ථා බොහෝ ය. ඔහුගේ දරා ගැනීමේ හැකියාව පිළිබඳව මා මවිතයට පත් වූයේ වරක් දෙවරක් නොවේ. අටලෝදහම මෙය වුවත් එය අප සියලු දෙනාටම පොදු වූ ධර්මතාවය කැයි සිතීමට පුරුදුව සිටීම මානසික සුවයකට හේතුවන බව මම දනිමි. එසේ වුවත් විජේපාල සොයුරාට අට ලෝ දහම අකාරුණික වී ඇතැයි මට සිතේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ
ජේ.එම්. විල්සන්

ඔව්! විඡේපාල පිදිය යුත්තෙකි....
2010/10/10
2010 ඔක්‌තෝබර් 17 ඉරිදා


"උදුලා ..... මාව නැගිටවන්න" ගත වාරු නැති බැවින් අසුනින් නැගී සිටීමට හෙතෙම සිය බිරියගේ සහය පතයි.

"එනවා විඡේ"

ඇය සැනෙන් ඔහු වෙත පැමිණේ

"ඉන්න මම සර්ව නැගිට්‌ටවන්නම්" ඔහුට පියකුට මෙන් ආදරය කරන ගෝලයන් සිය දහස්‌ ගණනක්‌ අතරින් කෙනෙකු වන ගෝලයකු සිය ගුරුපියානන්ට සහය පිණිස ඉදිරිපත්වේ.

"එපා එපා මම මෙයාව මේකට ටේ්‍රන් කරලයි තියෙන්නේ......" තමන්ගේම ගත තමන්ටම අකීකරු වුවත් තම බිරිඳගේ ගතෙහි සවිය සෙනහස වෑහෙන සත්කාරයක්‌ වෙමින් ඔහුගේ ගත සිත ළඟ රැඳේ. බැරි අමාරුකම් මැදින් එලෙස පුංචි විහිළුවක්‌ කරමින් අහිංසක ලෙස හිනැහෙන්නට ඔහුට වරම් දෙන්නේ ඒ සත්කාරය විය යුතුය.

අනිත්‍ය නම් ලෝක දහමට එරෙහිවීමට නොහැකි බැවින් අකලට ගත සවි ගිලිහී අද දෙපයින් සිට ගැනීමට තව කෙනකුගේ වාරුව පැතුවද මේ මිනිසා මහා පෙරළිකාර ජවයකින් යුක්‌තවූවෙකි. මෙරට වොලිබෝල් ක්‍ෂේත්‍රයට ජාත්‍යන්තර මට්‌ටමේ තාක්‌ෂණය එන්නත් කළ මේ මිනිසා මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ දැනුම අතින් අංක 1 වන්නේය. වොලිබෝල් ක්‍ෂේත්‍රය අලලා ඔහු විසින් ලියන ලද පොත් ත්‍රිත්වය සහ "වොලිබෝල් පුවත්" නම් සඟරාවේ සංස්‌කාරක ලෙස කරන ලදදැ වොලිබෝල් දැනුම නැංවීමට පමණක්‌ නොව මෙරට වොලිබෝල් සාහිත්‍යයක්‌ ගොඩනැංවීම පිණිසද මහෝපකාරී විය. ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්‌ටමේ ප්‍රථම සහ මෙතෙක්‌ එකම රන් පදක්‌කම දිනා ගැනීමට මග කියාදුන් මිනිසාය. 1971 සිට 1982 දක්‌වා ජාතික වොලිබෝල් පුහුණුකරුද වූද පළමු දකුණු ආසියානු වොලිබෝල් පදක්‌කමක්‌ ශ්‍රී ලංකා පිරිමි කණ්‌ඩායමකට ලබාදුන්නාවූද 1991 දී කොළඹ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් මහා තරගයේදී ඉන්දියාව දනගස්‌වමින් රන් පදක්‌කම් දිනූ ඒ ඓතිහාසික මොහොත උදාකර දුන්නා වූද, කළුආරච්චිගේ කුලසිරි විඡේපාල හෙවත් සමස්‌ත දේශීය වොලිබෝල් ක්‍ෂේත්‍රයම විඡේපාල සර් නමින් ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන මිනිසත්කමෙන් පිරුණු මේ දක්‍ෂ මිනිසා ඒ ඓතිහාසික ජයග්‍රහණයෙන් 20 වැනි වසර ලබද්දී දකුණු ආසියාව දිනා දුන් මතකය මෙනෙහි කරමින් ගිලන්ව සිටියි.

ඔහු අපහසුවෙන් ශරීරය සමබර කරගනිමින් ඇවිදී වචන උච්චාරණයද අපහසුය. විටෙක එක්‌ වචනයක්‌ කතා කර අනික්‌ වචනය පිටකරගැනීම පිණිස උච්චාරණය වෙනුවෙන් ඔහු ගන්නා වෙහෙස හද කකියවයි. ගත ආතුර වුවද මනස ආතුරව නැති මේ මිනිසා අදටද දින වකවානු නම් ගම් සහිතව අතීතය මෙනෙහි කිරීමට හපනෙකි.

"මගේ පළමු පත්වීම ක්‍රීඩා ගුරුවරයෙකු හැටියට 1963 තංගල්ල මහ විදුහලට 67 දී වීරකැටිය මහා විදුහලට ගියා. ඒ අවුරුද්දේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරියෙක්‌ විදියට ගම්පහට ආවා. තුන් වැනි පත්වීම් ලැබුණේ ජාතික තරුණසේවා සභාවේ සහකාර අධ්‍යක්‍ෂ කෙනෙකු හැටියට. ඒ 1982 දී. 1994 ඉඳන් 2002 වෙනකම් ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හැටියට කටයුතු කළා. මේ අතරවාරයේ ඔහු වොලිබෝල් ක්‍රීඩාවෙන් ලොව අංක එකේ පුහුණු උපදේශකයකු බවට පත්විය. ඉන්දියාවේ පටියාලා සරසවියෙන් 1989 දී ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අදියර 1 සමත්වූ ඔහු 1980 බහරේන් ක්‍රීඩා ඇකඩමියෙන් එම අදියර 2 හැදෑරුවේය. 1991 දී චෙකෝස්‌ලෝවැකියා සරසවියෙන් එම අදියර 3 පාඨමාලාව සමත්වූයේ මෙරට වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉහළටම ගිය තැනැත්තා බවට පත්වෙමිනි. අද වන විට එම අදියර 3 පාඨමාලාව හැදෑරූ තවත් තිදෙනෙක්‌ මෙරට සිටියද ඔහු හැරුන විට ජාත්‍යන්තර පුහුණු උපදේශක තනතුරින් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙන් පිදුම් ලැබු අන් කිසිවකු මේ රටේ නොමැත.

සමහරෙක්‌ට දැනුම තිබුණද එය ප්‍රායෝගිකව යොදා ගැනීමට නොදනී. සමහරෙක්‌ පවතින ක්‍රමවේදිය වෙනස්‌ කරමින් එවැන්නක්‌ කිරීමට බියවෙති. එහෙත් අප කථා නායකයාට ජාත්‍යන්තරයෙන් උකහා ගත් දැනුම කිසිදු පැකිළීමකින් තොරව මෙරට ක්‍රීඩාවට ආදේශ කළේය. එය සැබවින්ම විප්ලවයක්‌ විය. ආරම්භයේදී උසුලු විසුලු වලට පවා ලක්‌වීමට සිදුවිය. එහෙත් වැඩි කල් නොයා මේ විප්ලවය ජයගෙන මෙරට වොලිබෝaල් පිටියේ බලය ඇල්ලීමට විඡේපාල මහතා පෙරටුකරගත් ගෝල පිරිස හෙවත් තරුණසේවා සභාවට හැකිවිය.

මම 1968 දී ජර්මනියේ වොලිබෝල් පාඨමාලාවක්‌ හැදෑරුවා. එතනදී නව තාක්‌ෂණික ක්‍රමවේද ගැන විශේෂ දැනුමක්‌ ලබාගන්න මට අවස්‌ථාවක්‌ ලැබුණා. එහේ තිබුණු පූර්ව ඔලිම්පික්‌ වොලිබෝල් තරග මාලාවකදී ඔලිම්පික්‌ වරම් ලබාසිටිය කණ්‌ඩායම් 10 ක්‌ තරග කරනවා බලන්න මට අවස්‌ථාවක්‌ උදාවුණා. ඒ අය නව වොලිබෝල් තරග තාක්‌ෂණය යොදා ගන්නා විදිහ මම දැක්‌කා. මේ දේවල් ලංකාවට හඳුන්වාදෙන්න මට උවමනා වුණත් ඒක ලෙහෙසි වැඩක්‌ වුනේ නැහැ. ඒත් තරුණ සේවා සහාය වී විශේෂ ක්‍රීඩා අංශයට බඳවා ගත්තු අභ්‍යාසලාභීන් හරහා ඒ දේවල් ප්‍රායෝගික කරගන්න මට පුළුවන් වුණා. පන්දු සකසන්නාගේ කාර්යයට එතෙක්‌ යොදාගත් උසින් අඩු ක්‍රීඩකයෙක්‌ වෙනුවට උසින් වැඩි ක්‍රීඩකයෙක්‌ එයට යොදා ගත්තා. පළමුවෙන්ම එරික්‌ ජයසූරිය සහ ඒ. එස්‌. නාලකව පන්දු සකසන්නන් ලෙස පුහුණු කළා. එයට අමතරව කෙටි පන්දු ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේදය යොදා ගත්තා. තරගය ඇරඹෙන්න කළින් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම මෙරට වොලිබෝල් ක්‍රීඩාවට තරුණ සේවා සභාව හරහා හඳුන්වලා දුන්නා. කෙටි කාලීන පුහුණුවකින් පස්‌සේ 1983 දී තරුණ සේවා සභාව ජාතික ශූරතාව දිනාගත්තා. එදා අපේ ප්‍රතිවාදී කණ්‌ඩායම්වල වයස සාමාන්‍ය 28-30 ක්‌ විතර වුණත් අපේ කණ්‌ඩායම් සාමාජිකයෝ අවුරුදු 21 ක්‌ තරම් පොඩි වයසක අයයි. අපට දිගින් දිගටම එක එක පළාත් වල ප්‍රදර්ශන තරග වලට ආරාධනා ආව. මහපොළ ගම් උදාව, තරුණ උළෙලවගේ තරගාවලි වලට ගියා. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කලාව දැකලා නොතිබුණු මේ රටේ වොලිබෝල් ප්‍රේක්‌ෂකයන්ට අපි ඒ දේ කරනවා බලන්නම වොලිබෝල් පිටි වටා රැස්‌වුණා.

තරුණ සේවා සභාව තරගයකට එන විට තරගය ඇරඹීමට පෙරම වොලිබෝල් පිටිය වටා ප්‍රේක්‌ෂකයන් රැස්‌කෑවේ මෙම ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමය අරුමය බැලීමටය. ඔය අතර සිටි සමහරෙක්‌ මෙය විකාරයක්‌ ලෙසින් ගෙන හූ කිව් අවස්‌ථාවද නැතිවා නොවේ. එහෙත් විඡේපාල සහ සමාගම සැලුනේ නැත. ජයග්‍රාහීව ඉදිරියට ගියහ. ජාතික තරුණ සේවා සභාව මෙරට වොලිබෝල් බල කඳවුර බවට පත්විය. ජාතික කණ්‌ඩායම සඳහා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැපයූ නිශ්පාදනාගාරය බවට පත්විය. එතෙක්‌ මෙතෙක්‌ ජාතික කණ්‌ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයන් 12 ක්‌ අතුරින් 6 දෙනෙක්‌ ද ක්‍රීඩිකාවන් 3 දෙනෙක්‌ද තරුණ සේවා සභාව හරහා බිහි කරනු ලැබුවේ විඡේපාල මහතා විසිනි.

මම වොලිබෝල් ක්‍රීඩාවට කොතරම් ආස කළත් මම මලල ක්‍රීඩකයෙක්‌. මීටර් 400 සහ 400 සහාය දිවීමේ ඉසව්වලින් සමස්‌ත ලංකා පදක්‌කම් දිනන්න පුළුවන් වුණත් ක්‍රීඩකයකු හැටියට වොලිබෝල් ක්‍රීඩාවේ ඉහළින් යෙදෙන්න මට බැරි වුණා. එහෙත් දෛවෝපගත ලෙස මෙරට සිටින අභිමානවත් වොලිබෝල් පුහුණුකරුවකු වීමට විඡේපාල මහතාට හැකි විය.

ක්‍රීඩා ගුරුවරයකු ලෙසින්ද ක්‍රීඩා නිලධාරියකු ලෙසින්ද මලල ක්‍රීඩාවේ යෙදුණු අයකු ලෙසද වෙනත් ක්‍රීඩාවකට යොමු නොවූ වොලිබෝල් ක්‍රීඩාවෙන් තම අනාගතය තීරණය කිරීමට හෙතෙම තීරණය කළේ ඇයි?.

මම උපන්නෙත් ඉගෙනගත්තෙත් ගම්පහ. ඒ ගම්පහ වොලිබෝල් වල ස්‌වර්ණමය යුගය. චාල්ස්‌ ලා සිරිවර්ධනලා ජෙරම් ලා සෙල්ලම් කරන දිහා සෑහෙන පිරිසක්‌ හවසට බලන් ඉන්නවා. ඒ අතර හැමදාම අසාවෙන් බලන් හිටපු කෙනෙක්‌ මම. ඒ ආසාවටයි මම පුහුණුකරුවෙක්‌ හැටියට වොලිබෝල් වලින් ඉදිරියට ගියේ. අද මම ආපසු හැරිලා බලද්දී මට සන්තෝෂයි. මගේ තෝරාගැනීම නිවැරැදියි.

එසේ පවසන විඡේපාල මහතා අද ශාරීරිකව කුමන මට්‌ටමක සිටියද අදටද ඔහු ජාත්‍යන්තර පුහුණු උපදේශකයකු ලෙසින් තබාගැනීමට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය කටයුතු කරනුයේ ඔහු සතු මහා දැනුම් සම්භාරය සහ ඔහුගේ දායකත්වයේ වටිනාකම හේතුවෙන් විය යුතුය.

ඒ දැනුම මෙන්ම ඒ දැනුම යොදාගනිමින් ගිය ජයග්‍රාහී ගමනේදී ලද අත්දැකීම් සම්භාරයක්‌ද විඡේපාල මහතා සතුය. ඒ අතුරින් වඩාත් මතකයේ තිබෙන අත්දැකීම කුමක්‌දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

"සාෆ් (1991 - කොළඹ) රන් පදක්‌කම දිනාගත්තු එක තමයි. එදා අපි තරගයට එනකොට ගංගාරාමෙට ගිහින් භාරයක්‌ වුණා.""ඔහු රස මුසු අතීතයත් සිහිපත් කරයි.

"එදා දිනපු ඒ කාන්තා කණ්‌ඩායමට අපි සටන්කාමී මානසිකත්වය කියන දේ කාවද්දලයි තිබුණේ. ඒ වගේම එදා දිනපු ඒ කණ්‌ඩායමේ කිසිම කල්ලිවාදයක්‌ භේදයක්‌ තිබුණේ නැහැ. ඒක නිසා තමයි ඒ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ" ඔහු ආදර්ශවත් කණ්‌ඩායමක්‌ ඓතිහාසික ජයග්‍රහණයක්‌ ළඟාකර ගත් රහස්‌ විස්‌තර කරයි.

ඒ අතරේ තවත් රස මුසු සිද්ධි විස්‌තර කරයි.

"දවසක්‌ අපි ගම් උදාව තරගයකට ගියින් රෑ පිට්‌ටනිය හද හද ඉන්නවා. ඔහොම ඉන්නකොට එකපාරටම ජනාධිපති ප්‍රේමදාස මහත්තයා මතුවුණා. ඇහුවා අපි කොහෙන්ද කියලා. අපි කිව්වා අපි තරුණ සේවා සභාවේ කියලා. එකකොට ප්‍රේමදාස මහත්තයා කිව්වා හෙට උදේ 7ට නේද මැච් එක කියලා. එතුමාට වැරදීමක්‌ වෙන්න ඇති කියල හිතලා මම කිව්වා නෑ සවස 3 ට කියලා. මොකද අපට දැනුම් දීලා තිබුණේ ඒ වෙලාවයි. 3 ට වෙන්නේ කොහොමද හතටනේ මැච් එක. ඇයි වෙලාව වෙනස්‌වුණේ කියලා එතැන හිටපු නිලධාරියෙක්‌ගෙන් ඇහුවා. තරගය අරඹන්න නියමිතව තිබුණු වෙලාව 7 වුණත් කණ්‌ඩායම් වැඩි නිසා එහෙම කරන්න වුණා කියලා අර නිලධාරියා පිළිතුරු දුන්නා. අපට හිතා ගන්න බැරිවුණා මේ තරග කාලසටහන පවා ප්‍රේමදාස මහත්තයා කොහොම මතකයේ තියාගත්තද කියල".

ඔහු අතීතයේ රස මුසු තැන් ස්‌මරණය කරද්දී බිරිඳ උදුලාද ඒ අසලටම වී සිටින්නීය.

මේ යුවළ මෙරට වොලිබෝලයට ආදරණීය දෙමාපියන් දෙදෙනෙකි. රට පුරා විඡේපාල මහතා ප්‍රමුඛ පිරිවර වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් කරක්‌ ගසද්දී මේ නිවස බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහ ගෙදර විය. වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුස පුරවන්නට උදුලා අතින් තැම්බුණු ඉඳිආප්ප ප්‍රමාණයම සුළුපටු නැත. උදුලාගේ සහය නොවන්නට විඡේපාල මහතා මේ තරම් සාර්ථක පුහුණුකරුවකු නොවන වග ස්‌ථීරය.

එහෙත් අද මේ වහල යට උදුලාගේ වාරුවෙන් නැගිට ගන්නට උත්සාහ කරන්නේ විඡේපාල මහතා පමණක්‌ නොවේ. මේ දෙපලගේ එකම පුතණුවන්ද අද ලෙඩ ඇඳට වැටී සිටින්නේ දෛවයේ කෲර බව පසක්‌ කරමිනි. ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවකු වූ
විඡේපාල මහතාගේ පුත් සුදම් ද ස්‌නායු රෝගයක්‌ හේතුවෙන් අකලට එක්‌තැන්වී සිටියි. උදුලා මේ දෙදෙනාටම සාත්තු සත්කාර කරන්නීය. හෙද වෘත්තියේ නිරත වූ ඇය සේවයෙන් විශ්‍රාම ගත්තද මේ තත්ත්වය මත ඇය තවදුරටත් හෙදියක්‌ ව සිටින්නීය.

උදාවී ඇත්තේ විඡේපාල මහතාගේ මුළු පවුලටම හෙදකමක්‌ ලැබිය යුතු මෙහොතකි, මේ ලිපියේ නිමිත්ත බවට පත්වන්නේද මේ හෙදකමයි. නැතිනම් සාත්තුවයි, ඒ සාත්තුවට සැරසී සිටින්නෝ ජාතික තරුණ සේවා සභාවේදී විඡේපාල මහතාගේ ගුරුහරුකම් යටතේ වොලිබෝල් ඉගෙන අද ඒ පිහිටෙන් දෙපයින් සිටගත්තෝ වෙති. තම ගුරුතුමන් වෙනුවෙන් සත්කාරයක්‌ ඇවැසි මොහොත මෙය යෑයි තීරණය කළ තරුණ සේවා සභාවේ එතෙක්‌ මෙතෙක්‌ විඡේපාල ගෝල පිරිවර ඔහු ඇගයීමට සියල්ල සූදානම් කර ඇති මෙහොතක, දුකෙහිදී හැර නොයන ඒ කෙළෙහිගුණ දැක්‌වීම නිමිති කරගනිමිනි මේ ලිපිය ලියෑවෙනුයේ.

විඡේපාල මහතා මේ සා විශාල කාලයක්‌ මෙරට වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් මොන තරම් ඉහළ දායකත්වයක්‌ ලබා දුන්නද ඔහු ඇගයීමකට ලක්‌වූ එකදු අවස්‌ථාවක්‌ හෝ නොවීය. වෙනකක්‌ තබා 91 සාෆ් රන් පදක්‌කම දිනූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්‌ඩායම ඇගයීමට ලක්‌වීමේදී පවා විඡේපාල මහතාව අමතකව ගිය සෙයකි. එහෙත් තම දිවියේ පළමු වතාවට උපහාරයට ලක්‌වීමට විඡේපාල මහතා අවස්‌ථාව ලබා සිටියි. ඒ සඳහා ඔහු සිය දරුවන් ලෙසින් සවි ගැන්වූ ජාතික තරුණසේවා සභාවෙන් බිහිවූ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැන් කටයුතු සූදානම් කරමින් සිටිති. තරුණ සේවා සභාවේ විඡේපාල මහතාගේ පළමු ගෝල පිරිවරේ අයකු වන ඒ. එස්‌. නාලක මහතා මූලිකත්වය දෙන මේ කටයුත්ත තවත් එක්‌ උපහාර පිදීමකින් ඔබ්බට යන්නකි. දිනෙක නාලකට කතා කළ විඡේපාල මහතා ඔහු සිය නිවසේ කාමරයට රැගෙන ගොස්‌ මේ තමයි වොලිබෝල ඔක්‌කොම යෑයි පැවසුවේ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශකයකු ලෙසින් සහ එයත් සමග කාලාන්තරයක්‌ තිස්‌සේ පැවැති සබඳතාව මත ලබාගත් වොලිබෝල් තාක්‍ෂණය පිළිබඳ පොත් පත් වීඩියෝ පට මෙන්ම ලොව අංක එකේ වොලිබෝල් තරගාවලිවල වීඩියෝපට ආදී අඛණ්‌ඩව යාවත්කාලීන වූ ලොව වොලිබෝල් තොරතුරු සියල්ල එහි විය. දැන් මේවා මා ළඟ තියලා වැඩක්‌ නැහැ. උනන්දුව තියෙන අය බලලා මේවා බෙදාදෙන්න යෑයි ඔහු නාලකගෙන් ඉල්ලීමක්‌ කළේය. 

No comments:

Post a Comment

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...