දෙවසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරුවෙකු ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් මෙම පුහුණුකරු ලංකාවට ගෙන්වන අතර ඒ සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම දැනටමත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක මහතා පවසයි.
දේජාන් වුලිසිවික් නම් වූ මෙම වොලිබෝල් පුහුණුකරුගේ කොන්ත්‍රාත් කාලයේදී ඔහුගේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 3500 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 ඉක්මවයි.
ලබන සැප්තැම්බර් 15 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක පැවැත්වීමට නියමිත 2018 ආසියානු අභියෝග කුසලතා පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීම සර්බියානු විශේෂඥ පුහුණුකරුට හිමිවන ප්‍රධාන ඉලක්කයයි. රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 3 අතරට ගෙන ආයුතු බව එම පුහුණුකරුවාට දී ඇති ඉලක්කයයි.
පළමු වසර ඇතුළත දී දක්වන ප්‍රගතිය මත කොන්ත්‍රාත් කාලය දෙවැනි වසර දක්වා දීර්ඝ කිරීමට පුහුණුකරු හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එකඟතා ගිවිසුමකට එළඹෙනු ඇත.
මෙම වසර ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 6 කට සහභාගී කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සූදානම් වේ. එම තරගාවලි පහත දැක්වේ.
■ ආසියානු කාන්තා (වයස අවු 19න් පහළ) වොලිබෝල් තරගාවලිය - වියට්නාමය
■ ආසියානු පිරිමි (වයස අවු 18න් පහළ) තරගාවලිය - ඉරානය
■ ආසියානු පිරිමි (වයස අවු 20න් පහළ) තරගාවලිය - බහරේන්
■ ආසියානු කාන්තා තරගාවලිය - කසකස්ථානය
■ ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය - මියන්මාරය
■ ආසියානු අභියෝග කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය
මෙම තරගාවලි ඉලක්ක කර ගනිමින් දේශීය පුහුණුකරුවන්, සහය පුහුණුකරුවන් සහ අභ්‍යාසකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත. මෙම මස 16 දා ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය බලාපොරොත්තු වේ
No comments:
Post a Comment