Skip to main content

හැට පැන්නත් වොලිබෝලයට පෙම් බැඳි ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි පොඩි ජිනේ







මිනිසා ඉපදී ජීවත්ව මිය යන කාල පරාසය තුළ ඇබ්බැහිකම් ඇත්තේ ය. ඇතැම් අබ්බැහිකම් ආරම්භ වන්නේ හුදු විනෝදය හෝ ආසාව පදනම් කරගෙන ය. මේ ඇබ්බැහිකම් හොඳ ඒවා මෙන් ම විටෙක අහිතකර ඒවා ද වේ. කෙසේ වෙතත් ආශාව නිසා ම ජීවිතයට පුරුදු පුහුණු කළ ක්‍රීඩාවක නියැළෙන්නෙකු ඉකුත් දා අපට හමු විය. ඔහු ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි ජිනදාස රන්දෙනිය මහතා ය.
එක්දහස් නමසිය තිස්පහ අවුරුද්දේදී උපන් ජිනදාස මේ ගෙවන්නේ හැත්තෑ හතර වැනි වියයි. පෙනුමින් ඔහු තවමත් මැදිවියේ අයකු මෙනි. පෙනුම කෙසේ වෙතත් ඔහු තරුණයකු මෙන් ජවසම්පන්නය. ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ විට ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි.
වයස අවුරුදු දොළහේදී පමණ වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ඔහු තවමත් පිටියේ ක්‍රීඩා කරන්නෙකි. ක්‍රීඩාව ඔහුගේ ඇඟේ ම ඇත්තේ ය. කලක් ජාතික කිරි මණ්ඩලයේ රියදුරෙකු වශයෙන් රැකියාව කළ ඔහු පසුව තමන්ගේ ම ටැක්සියක සේවය කළේ ය.
ජිනදාසට වොලිබෝල් කියූ විට ඊට එහා දෙයක් නැත. ඔහු ඒ තරමටම ක්‍රීඩාවට ආසා කරන්නේ ය. උනන්දු වන්නේ ය. ආදරය කරන්නේ ය.
“පාසල් කාලේ ඉඳලම මම ක්‍රීඩා කළා. මම තරුණ කාලේ තිස්ස ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඒ කාලේ අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජිනදාස සිරිවර්ධන කියන මහත්මයා. 
1956 අවුරුද්දේ අපි ගාලු දිස්ත්‍රික් ශූරතාව දිනා ගත්තා. එදා තරගයේ හොඳම ක්‍රීඩකයා වුණේ මම. අවුරුදු හත අටක් මම තිස්ස කණ්ඩායමේ නායකත්වය දැරුවා. කිරි මණ්ඩලේ සේවය කරන කාලේ කිරිමණ්ඩල වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කළා. ගමේ ආවදාට ගමේ පිට්ටනියේ සෙල්ලම් කළා. අපේ අම්මලා තාත්තලා උනත් කිසිම විරුද්ධත්වයක් දැක්වූයේ නෑ. අදටත් මගෙ බිරිය අකමැති නැහැ මම සෙල්ලම් කරනවට.”
ඔහු ජීවිතය ගෙවන්නේ සැහැල්ලුවෙනි. ඔහු කුමන රාජකාරිය කළ ද දිනපතා ක්‍රීඩා කරන්නේ ය. ඔහු සමඟ තරුණයෝ මෙන් ම බාල ළමයි ද සෙල්ලම් කරන්නෝ ය. ඔහුගේ පුතා හා මුනුබුරාද මේ අතර වේ.
කිරි මණ්ඩලයේ රියදුරු රස්සාවෙන් ඉවත් වූ පසු ඔහු කලක් රාජ්‍ය ඉංජිනේරු ආයතනයේ ද රියදුරකු ලෙස සේවය කළේ ය. ඉන්පසුව ඔහු තමන්ගේ ම කියා වාහනයක වැඩ කළේ ය. කොහේ කොතැන රැකියාව කළ ද ඔහුට වොලිබෝල් ක්‍රීඩාව අමතක කරන්නට බැරි විය. ඇල්පිටිය පළාතේ වොලිබෝල් ලෝලීන් අතර ‘පොඩි ජිනේ’ නමින් ප්‍රසිද්ධ ඔහු අපූරු චරිතයකි.

“මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. පුතා පොලිසියේ සේවය කරනවා. වැඩිමහල් දියණිය විවාහකයි. බාල දියණියන් දෙදෙනා විදේශ ගත වී සිටින්නේ. මේ දවස්වල ඒ දෙන්නා කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නේ.
අප පොඩි ජිනේ හමුවීමට ගියදා බාල දියණියන් දෙදෙනා නිවසේ සිටියෝ ය.
“අපිට අපේ තාත්තා ගැන ආඩම්බරයි” ඔවුහු එක හඬින් කීහ.
“එක දවසක් මම බස් එකේ ගමනක් ගිහිල්ලා එනවා. ඒ එනකොට අපේ තාත්තා පිට්ටනියේ සෙල්ලම් කරනවා. මේක දැකපු ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් කතා වෙනවා.
“අන්න බලහං අර සීයා වොලිබෝල් ගහනවා. ගෙදර ගිහිල්ලා මඤ්ඤොක්කා ගහක් හිටෙව්ව නම් ඔයිට වඩා හොඳ නැද්ද කියලා. මට දුකක් හිතුණා අනේ මෙහෙම කියන්නේ අපේ තාත්තට නේද කියලා. ඒත් මට සතුටකුත් දැනුණා අපේ තාත්තා තාම සෙල්ලම් කරනවනේ කියලා. අපේ තාත්තා හරිම නිරෝගීයි.
දරුවන් විදේශගත වූ පසු මහගෙදර සිටින්නේ වියපත් යුවළ පමණි. ඔවුන් දෙදෙනා ජීවිතය ගත කරන්නේ සැහැල්ලුවෙනි. සතුටෙනි. වත්ත පිටියේ වැඩ කරන ඔවුහු එදිනෙදා නිවසට අවශ්‍ය එළවුළු ආදිය වගා කරගනිති.
“ඉස්සර නම් අපි තේ කොළ ටිකත් ගෙදරමයි හදාගත්තේ. අපිට කුඹුරු තියෙනවා. මෙච්චර කාලෙකට අපි හාල් කඩෙන් ගෙනල්ලා නැහැ. වත්තේ එළවුළු මිරිස් ආදිය වවාගෙන තියෙනවා. පොල්තෙල් ටික ගෙදර හිඳගන්නවා.
ජිනදාස ගේ බිරිය අමරා දසනායක පවසන්නීය.
ඇය මැහුම් ගෙතුම්වලට දක්ෂය. දරුවන් නිවසේ නැති කල ඇය පාළුව මඟහරවා ගත්තේ මැහුමක ගෙතුමක යෙදීමෙනි.
කොළඹට වී රැකියාව කළ ජිනදාස අසූව දශකයේ මැද භාගයේ ගමට ආවේ ය. එකල ඔහු රියදුරු රැකියාව කළේ ගමේ ය. මේ කාලයේදී ඔහුට වොලිබෝල් ක්‍රීඩාව කිරීමට වඩ වඩාත් අවස්ථාව ලැබිණි. 
ඔහු තිස්ස ක්‍රීඩා සමාජයෙන් පසුව මිරිස්වත්ත සිංහ ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කරන්නට පටන්ගත්තේ ය. ඔහුට වොලිබෝල් ක්‍රීඩාවේ නීති රීති හොඳින් මතකය. හවසට පිට්ටනියේ දී බාල ළමයි ඔහුගෙන් ගුරු උපදේශ ගනිති. ඔහු යෞවනයන් හා කරට කර ක්‍රීඩා කරන්නේ ය.
“මම කොහේ ගියත් හැන්දෑවේ පහ වෙනකොට ගෙදර එනවා. ඒ පිට්ටනියේ සෙල්ලම් කරන්න. ඉස්සර මම ගමේ අවුරුදු උත්සවවල දිව්වා. දැන්නම් දුවන්න යන්නේ නැහැ. ඒත් මට පුළුවන්කම තියෙනතුරු මම ක්‍රීඩා කරනවා. මේ ළඟදී මම ළමයි එක්ක ගමනක් ගියා. පුළුවන් තරම් උත්සාහ කළා පහට කලින් ගෙදර එන්න. ඒත් බැරි වුණා. මගෙ හිතට හරිම දුකයි.”
ඔහුට ඒ තරමටම ක්‍රීඩාව ඕනෑ ය. වයස අවුරුදු හැත්තෑ හතරක් වුව ද ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම එදා වගේ ම ය.
“මගෙ ඇස් හොඳින් පෙනෙනවා. දෙයියනේ කියලා මට ලෙඩක් නෑ. සමහර අයට මේ වයසට දියවැඩියාව, ප්‍රෙෂර් එක, කොලොස්ටරෝල්... රටේ නැති ලෙඩනේ. 
මට එහෙම ලෙඩ නෑ. ඉඳලා හිටලා හෙම්බිරිස්සාවක් හැදුණොත් ඇරෙන්න. මා කවදාවත් අරක්කු සිගරට් බිව්වේ නැහැ. මා සෙල්ලම් කරලා ගෙදර එනකොට නෝනා මට කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පොල්පලා ආදි බෙහෙත් වර්ග තම්බලා දෙනවා. මං විශ්වාස කරනවා මගේ නිරෝගීභාවයට හේතුව හැමදාම ක්‍රීඩා කරන එක කියලා. 
ඒ වගේ ම මම වත්ත පිටියේ කුඹුරුවල වැඩ කරනවා. මගේ හිතේ අනවශ්‍ය ප්‍රශ්න නැහැ. මම කාගෙවත් කරදර මගෙ හිතට දාගන්නේ නැහැ. 
දරුවන්ගෙන් වුණත් මට කරදරයක් නෑ. ඒගොල්ලෝ අද හොඳ ජීවිත ගතකරනවා. මගෙ බිරියට මම ස්තුති කරන්න ඕන. ඇය නිසා තමයි අද මට මෙච්චර සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අපි දෙන්නා තරහා වෙන්නේ රණ්ඩු කරන්නේ නැහැ. සමහර දිනවල මම පිට්ටනියේ සෙල්ලම් කරනවා බලන්න ඇයත් එනවා.”
ඔබ ගමනක් යන්න ගියත් වොලිබෝල් ක්‍රීඩා කරන තැනක් දැක්කොත් නතර වෙනවා කියන්නේ? අපි ඇසුවෙමි.
ඔහුට සිනහ නැඟුණේ ය...” මෙහෙමයි. මේ ඇල්පිටියේ මම ක්‍රීඩා නොකරපු පිට්ටනියක් නැති තරම්. එහෙම පිට්ටනියක් තියෙනව නම් ඒක මේ ඊයේ රෑ හදපු පිට්ටනියක් වෙන්න ඕන. ඒ වගේ ම හැමෝම මා අඳුනනවා. මම කොල්ලා කාලේ පිට්ටනියේ සෙල්ලම් කරනකොට හැමෝම කෑගැහැව්වේ “පොඩි ජිනේ” කියලා. අදටත් මට කතා කරන්නේ පොඩි ජිනේ කියලා. 
පොඩි ළමයි “ජිනේ සීයා” කියනවා. තරුණයෝ “ජිනේ මාමා” කියනවා. සමහරු “ජිනේ අයියා” කියනවා. මේ මොන නමින් කතා කළත් මං හිතාගෙන ඉන්නේ මම තාම තරුණයයි කියලා. 
වත්ත පිටියේ වැඩ නැති වෙලාවට යම් යම් වුවමනාවලට මං ටවුන් එකට එහෙම යනවා. ඒ යනකොට පිට්ටනියක වොලිබෝල් සෙල්ලම් කරනවා දැක්කොත් එතැනටත් යනවා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා පොඩ්ඩක් සෙල්ලම් කරලා යනවා. ඒක දැන් මට පුරුද්දට ගිහිල්ලා. වොලිබෝල් මගෙ ඇගේ ම තියෙනවා. ඒ මට හිතෙන හැටි.
ඔහු යෞවනයකු කාලේ කොළඹ රැකියාව කරද්දී බොහෝ තරුණයෝ ඔහුට රැවටුණහ.
“ඇත්ත. හුඟක් වෙලාවට අපේ නැසීගිය ගායන ශිල්පි මිල්ටන් පෙරේරා මහතා කියලා මට තරුණයෝ රැවටෙනවා. අද කාලෙයි ඒ කාලෙයි බලද්දී කොච්චර වෙනස් ද කියලා හිතෙනවා. 
ඒ කාලේ ටැග්සියක වැඩකරලා එක හයර් එකකට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඒ කාලේ මීටරය කඩල තමයි හයර් එකට මුදල් අය කරන්නේ. ඒත් දැන් ලැබෙන මුදල වැඩි වුණත් වියදම වැඩියි. 
මං මගෙ දරුවන්ට ඉගැන්නුවේ ලොකු මහත් කළේ ඒ රස්සාවෙන්. වොලිබෝල්වලට ඇබ්බැහි වුණා කියලා මං කවදාවත් මගෙන් පවුලට කෙරෙන්න ඕන යුතුකම් පැහැර හැරියේ නැහැ. අපේ ගමේ තිබෙනවා වැඩිහිටි සමිතියක්. මම ඒ සමිතියේ සාමාජිකයෙක්. අවුරුදු හැටෙන් ඉහළ වොලිබෝල් කණ්ඩායමේ මමත් සෙල්ලම් කරනවා.
ඔහු දවස ආරම්භ කරන්නේ වත්තපිටියේ වැඩ කිරීමෙනි. ඔහුගේ දවස ගෙවෙන්නේ හැන්දෑවට වොලිබෝල් පිටියට යෑමෙනි. ක්‍රීඩාව ඔහු තුළ සංයමයක් ඇති කළේ ය. නිරන්තරවම ක්‍රීඩාව සමඟ රැඳි සිටින ඔහුගේ ජීවිතය නිරෝගී වූයේය.
ඔහු අද මෙන් හෙට ද ක්‍රීඩා කරනු ඇත. දෑත් දෙපා වාරු නැතිවන තුරුම ඔහු වොලිබෝලය සමඟ හැප්පෙනු ඇත.




Comments

Popular posts from this blog

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරිමි අංශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා  නාවික හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම ශ්‍රී ලංකා  වරාය අධිකාරී කණ්ඩයම ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම බෙස්ට් පැසිෆික් කණ්ඩායම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕශන් ලංකා කණ්ඩායම මැලිබන් කණ්ඩායම ලෙස වූ අතර එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට  3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඔමේගා ලයින් කණ්ඩායම මාස් කැශුව ලයින් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ලෙස විය.  අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11...

වොලිබෝලය වර්ණවත් කල රුවන්වැල්ලෙ රණේ

එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය ) රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක. රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය. කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය. ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය. ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා...